Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු කතිකාවක් පවතී.

පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා  හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය.

මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය කරගනු පිණිස අපි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා වෙත මෙම ප්‍රශ්න කිහිපය යොමු කළෙමු.

  • පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් නිර්දේශ කළ පෙති වර්ග තිබෙනවාද?

ඔව්; ඒ සඳහා Sidenafil, Tadalafil වැනි ඖෂධ වර්ග තියෙනවා.

  • මේ දෙකෙහිම ක්‍රියාකාරීත්වය එක හා සමානද?

මුල් ඖෂධයේ ක්‍රියාකාරීත්වය පැය ගණනක් දක්වාත්, දෙවෙනි ඖෂධයේ ක්‍රියාකාරීත්වය දින ගණනක් දක්වාත් බලපැවැත්වෙනවා. මේ අතරින් බහුලවම භාවිතා වන්නේ මුලින් සඳහන් කළ ඖෂධයයි.

  • Sidenafilයන ඖෂධය මෑතක සිට ජනප්‍රිය වූවක් නේද?

මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය වී ඇත්තේ 1989 වසරේ; ඒ අධික රුධිර පීඩනය, පපුවේ ඇන්ජයිනා කැක්කුම ආදී රෝග වලට ප්‍රතිකාරයක් වශයෙන්. නමුත් එය භාවිතයට ගැනීමෙන් පසුව එහි අතුරුඵලයක් ලෙස එමගින් පුරුෂයන් හට ලිංගික උත්තේජනයක් ලැබෙන බව අනාවරණය වුණා. පුරුෂ ලිංගික බෙලහීනතාව මැඩලීම සඳහා නිර්දේශ කරන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනුණේ ඊට වසර දහයකට පමණ පසුවයි.

  • එහෙත් මෙවැනි ඖෂධ වලින් පුද්ගලයන්ට මරු කැඳවන බවට සමාජය පුරා පැතිර යන රාවය කුමක්ද?

මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය මත ඒවා භාවිතා කරන පුද්ගලයන්ගේ රුධිර ගමනාගමනය ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා එවැනි අන්තරාකාරී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

  • සියළුදෙනා කෙරෙහි ඒ අවදානම බල පෑ හැකිද?

බොහෝවිට සුළු වෙහෙස මහන්සියක දී ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නවුන් නයිට්රේට් (Nitrate) ගණයේ ඖෂධ ලබාගන්නවුන් මෙම අවදානමට වැඩිපුර ලක් විය හැකියි.

  • හෘදයාබාධ සඳහා බයිපාස් සහ ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම් වලට ලක් වූවන් මෙම පෙති පෙති පාවිච්චි කිරීම සුදුසුද?

කවුරුන් හෝ මෙම පෙති භාවිතයට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා රෝගියාගෙන් කරුණු විමසා අවශ්‍ය නම් අදාල පර්යේෂණද සිදුකොට ඒ පෙති සහ ඒවා භාවිතයට ගත යුතු මාත්‍රාව නිර්දේශ කරනු ඇති.  එසේ නොමැතිව තමන්ගේ හිතුමනාපයට මෙවන් පෙති භාවිතා කිරීමේ දී කිසියම් අවදානමක් තිබෙනවා.

  • මෙම පෙති භාවිතයෙන් හෘදයාබාධයකින් කිසිවෙකු මිය ගිය විට එම හෘදයාබාධයට මෙම පෙති ඉවහල් වූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගත හැකිද?

මූලික පශ්චාත් මරණ පරීක්ෂණයක දී විමසා බැලෙනුයේ මරණයට ආසන්න සහ දෘශ්‍යමාන හේතු පමණයි. එහෙත් එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවූ සොයාගැනීමට (Finding) අමතරව වැඩිදුර සොයාගතයුතු යමක් ඇතැයි හැගේ නම් මිය ගිය තැනැත්තාගේ රුධිර සාම්පල් මරණය සිදුවී පැය දහයක් ඇතුළත රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වෙනවා. එවිට මිය යන අවස්ථාවේ ඒ තැනැත්තාගේ රුධිරයේ ඇති රසායනිකයන් වෙන්ව හඳුනාගත හැකියි. ඒ අනුව හෘදයාබාධයකින් මිය ගිය තැනැත්තෙකු වුව මිය යන මොහොතේ මේ ඖෂධය භාවිතා‍ කොට තිබිණිද යන්න එම රසායනාගාර පරීක්ෂණ මගින් මනාව තහවුරු කර ගත හැකියි.

  • ලිංගික උත්තේජනයක් වශයෙන් නොමැතිව වෙනත් රෝග සඳහාත් තවමත් මේ ඖෂධය භාවිතා වෙනවාද?

ඔව්; පෙනහළු රුධිර පීඩනය(Pulmonary Hypertension) සහිත රෝගීන්ට මෙම ඖෂධයෙන් සුළු මාත්‍රාවක් ලබා දෙනවා.

  • මෙම ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමෙන් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද?

ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය පහළ බැසීම නිසා සිදුවන හානි ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන් මෙය සිට්රේට් (Sitrate) සහිත ඖෂධයක් නිසා නයිට්රේට් (Nitrate) සහිත ඖෂධ භාවිතා කරන රෝගීන් මෙම පෙති භාවිතයේ දී වැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්.

  • ඒ හැරුණු කොට මෙම පෙති අධිමාත්‍රාවක් ගැනීමෙන් ලිංගික ප්‍රාණවත් වීම පාලනය නොවන තත්ත්වයක් ඇති බවට සමහරුන් මත පළ කරනවා මෙහි සත්‍යයක් තිබේද?

ඔව්; එසේද සිදුවිය හැකියි.

  • ඒ සඳහා වන ප්‍රතිකර්මය කුමක්ද?

ඒ සඳහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ රෝහලක දී ලිංගේන්ද්‍රිය පද්ධතිය තුළ ගලා යන අධික රුධිරය ඉදිකටුවක් වැනි ශෛල්‍ය උපකරණයක් මාර්ගයෙන් ශරීරයෙන් ඉවත් කිරීමයි.

 

දමයන්ති ගමගේ

සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා කවුරුත් ගරු සරු කරන ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ටත් දුෂ්ටකමක් කළාද කියලා සමහරු අහන්න ගත්තා. ඒත් අපිත් එක්ක මේ කතා බහට එක්වූ විල්සන් කරූ නම් කිව්වේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. 
 
විල්සන් කරූ කියන නළුවා සිනමාවට පැමිණීම අහඹු සිදුවීමක් කියලයි අපි අසා තිබෙන්නේ. එය ඇත්තක්ද?
ඇත්තටම මම නළුවෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නොවෙයි. සුදාර් මතිස් අධ්‍යක්ෂණය කළ “හදවත් නැත්තෝ” චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු එක්ක සටන් ජවනිකාවකට සුදුසු නළුවෙක් හොයනකොට අපේ ගෙවල් පැත්තේ හිටපු සිනමා තිරනාටක රචකයකු වන පුණ්‍යදාස බුලත්සිංහල මහතා තමයි මම ගැන කියලා තියෙන්නේ. ඒ අනුව මම ඒ අධ්‍යක්ෂවරයා හමු වුණා. ඒ විදියට තමයි මගේ ගමන පටන් ගත්තේ. ඒ 1972 අවුරුද්දේ. 
 
එදා මෙදා තුර ඔබ රඟපෑ නිර්මාණ ගැන කතා කළොත්? 
මම චිත්‍රපට 250ක විතර රඟාපාලා තිබෙනවා. ටෙලි නාට්‍ය 15ක විතර රඟපාලා තියෙනවා. Music video එකකත් රඟපෑවා. 
 
ඒ අතරින් වඩාත්ම සතුටක් ලැබුවේ කුමන නිර්මාණයකට සම්බන්ධ වෙලාද? 
මාලනී ෆොන්සේකාගේ “සසර චේතනා” චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය තමයි මගේ රංගන ජීවිතයේ වැඩියෙන්ම තෘප්තියක් ලැබූ චරිතය. ඒ රංගනයට ඒ වසරේදී රංගන කුසලතා සම්මානයකුත් ලැබුණා. ඒ චරිතය ගැන ඒ දවස්වල බොහෝ දෙනා අතරේත් කතා බහට ලක් වුණා. 
 
ඔබ රඟපෑ එකම එක Music video එකත් සමාජය තුළ දැඩි කතා බහට ලක් වුණා. ඒ රංගනය ගැන අද ඔබ සතුටු වෙනවාද? 
රඟපෑ චිත්‍රපට 250 හා ටෙලි නාට්‍ය 15 ගැන නම් සතුටු වෙනවා. හැබැයි රඟපෑ එකම එක ර්භඵඪජ මඪඤඥධ එක ගැන නම් කිසිම සතුටක් නැහැ. 
 
එතකොට ඔබ ඔය කියන මියුසික් වීඩියෝ එකේ රඟපෑවෙත් අසතුටින්ද? 
රඟපාන්න යන විටදීවත් රඟපාන විටදීවත්  කිසිම අසතුටක් තිබුණේ නැහැ. ඒත් ඒ Music video එක නිකුත් වෙලා හතරවටින් ප්‍රතිචාර එද්දි තමයි ඒ දුක ඇතිවුණේ.
ඒ Music video එක වික්ටර් රත්නායකගේ ජීවිත කතාව බවට හැම තැනම ප්‍රචාරය වෙද්දී තමයි මමත් ඒක බැලුවේ. සොසේජස් දර්ශන, කෙසෙල් ගෙඩි දර්ශන දැක්කේ ඒ වේලාවේ. වික්ටර් රත්නායකයන්ව මමත් කිරුළපන ප්‍රසංගවලට කැඳවා තිබෙනවා. ඒ දරුවොත් මට හිතවත්. එතුමාට අපහාස වන නිර්මාණයකට කියලා දන්නවා නම් මම එතැන ඒ කටයුත්ත කරපු හැමෝටම ගහලා කැමරා ආම්පන්නත් ‍පොඩි කරලා තමයි එතනින් එන්නේ. 
 
ඒ කියන්නේ ඉරාජ් ඔබව රැවැට්ටුවා? 
ඔව්, ඒ ගැන මම එයාගෙන් ඇහුවා. එයා කියනවා මේක වික්ටර්ට අපහාස කරන්න කරපු video එකක් ‍නෙවෙයිලු. ඒක වික්ටර්ගේ කතාවට සම්බන්ධ කරගෙන තියෙන්නේ බලන අයලු. 
 
අද සිදුවන මේ වගෙ දේවල් දකින විට ඔබට එදා සිනමාව ගැන මොකද හිතෙන්නේ? 
එදා අපි ෂුටිං ගියේ විනෝද ගමනක් යනවා වගේ. හරිම සතුටින් තමයි ලොජ් වෙලා හිටියේ. අපි “සංඛපාලි” රූගත කරද්දී ඊට ටිකක් දුරින් තමයි “බඹරු ඇවිත්” කළේ. සමහර දාට විජය, කලං එහෙම බඹරු ඇවිත් ෂුටිං ඉවර වෙලා, රෑට අපි ඉන්න හොටෙල් එකට එනවා. රෑ 2 විතර වෙනකල් සින්දු කියලා විනෝද වෙලා යන්නේ. 
 
අද නළු නිළියන් හා එදා සිටි නළු නිළියන් අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? 
දක්ෂ අය අදත් ඉන්නවා. ඒත් එදා තිබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අද නැහැ. අද චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් ෂූටිං කරන්න ගියාම පාරේ යන අය ඒ දිහා බලල හැරිලා යනවා. ඒත් එදා ගාමිණි ෆොන්සේකා, මාලනී ෆොන්සේකා, එනව කියලා දැන ගත්තම පළාතේ අය පිරෙනවා. බයිසිකල් දහස් ගණනක් එක පෙළට නවත්තලා මිනිස්සු කට්ටිය නැවතිලා ඉන්නවා. හෝට‍ලේට එනවා. බයිසිකල් බලාගන්න වෙනම අය ඉන්නවා. ඒ අය ඒ කටයුත්ත කරලා දවසට ලොකු ගාණක් එකතු කරගන්නවා. 
 
ඒ කා‍ලේ රූගත කිරීම්වලට ගියාම අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්නත් ඇති නේද? 
ඒ වගේ අවස්ථා නම් ගොඩක් තියෙනවා.
 
එකක් දෙකක් කියන්නකෝ බලන්න? 
“සංඛපාලි“ රූගත කළේ වැල්ල ආශ්‍රිත ප්‍රදේශයක. දවසක් අපි ෂූටිං කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔය වෙලාවේ ඒ පළාතේ චණ්ඩි වගයක් ඇවිත් අපේ නිළියන්ට ගල් කැටවලින් ගහන්න පටන් ගත්තා. ගාමිණී ෆොන්සේකා මහත්තයා ඒ අය ළඟට ගිහින් කාරුණිකව කතා කරලා කිව්වා. ඒ වැඩේ නවත්වන්න කියලා. ඊට පස්සේ ඒ අය අපිත් එක්ක ගැටුමට ආවා. ගාමිණී මහත්තයයි මමයි ඒ චණ්ඩින්ට පන්න පන්නා පහර දුන්නා. ඊට පස්සේ ඒ බොරු චණ්ඩි පැත්ත පළාතේ ආවේ නැහැ. 
 
ඔබ සැබෑ ජීවිතේදීත් චණ්ඩියෙක්ලු නේද? 
ඉස්කෝ‍ලේ 2-3 පන්තිවල ඉඳන් හැමදාම ගෙදරට නඩු එනවා. කාට හරි ගහලා. හැබැයි කවදාවත් අසාධාරණ කම් කරලා නැහැ. කාට හරි අසාධාරණයක් වුණොත් මම ඊට විරුද්ධව සටන් කරනවා. 
 
සිනමාවේදී හැමදාම දුෂ්ටකම් කරද්දී රසිකාවියන්ගේ ආදරය ලැබෙන්නේ නැහැ නේද? 
අහිංසක පිරිමින්ට කැමති ගැහැනුත් ඉන්නවා. දඩබ්බර චණ්ඩින්ට කැමති ගැහැනුත් ඉන්නවා. මට කැමති රසිකාවියොත් හිටියා. ආදරය ඉල්ලලා විවාහ යෝජනා කරලා ලියුම් එවපු ගෑනු ළමයිනුත් හිටියා. 
 
නිළියන්ගෙන් ආදර යෝජනා ඇවිත් නැද්ද? 
නැහැ. ඒ හැමෝම මගේ යාළුවෝ. 
 
ජීවිතය තනිකඩව ගෙවීම ගැන අද මොකද හිතෙන්නේ? 
මම යාළු මිත්‍රයෝ වට කරගෙන ඉන්න කෙනෙක්. මේ නිදහස විඳින්නේ තනිකඩව ඉන්න හින්දා කියලා හිතෙනකොට සතුටක් දැනෙනවා. ඒත් ගෙදරදී තේ එකක් බොන්න හිතුනම තනියමනේ තේ එක හදාගන්න වෙන්නේ. ඒ වගේ වෙලාවට නම් හිතෙනවා බිරිඳක් හිටියා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් විවාහ නොවී සිටීම ගැන නම් මම පසුතැවෙන්නේ නැහැ. තනිකඩව ජීවිතය ගෙව් එකම කෙනා මම ‍නෙවෙයිනේ. 
 
ආරියවංශ කුලතිලක

අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද?
කැමැති නමක් කියන්න. මොකද මම ඔය නම් දෙකටම කැමැතියි. “මුතුකුඩ” ටෙලි නාට්‍ය මේ රටේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගත් නිසානේ මම මුතුකුඩ මැණිකේ වුණේ.
 
කොහොමද ඔබට “මුතුකුඩ මැණිකේ” වෙන්න අවස්ථාව ලැබුණේ? 
මම “ගිරිකු‍ලේ දෝංකාරය” කියලා ටෙලි නාට්‍යයක රඟපෑවා. හැබැයි ඒ කතාව විකාශනය වුණේ නැහැ. ඒ ටෙලි නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කළේ සෑම් පෙරේරා. සෑම් අංකල් තමයි ටිකිරි රත්නායක මහතාට මා ගැන කියලා තියෙන්නේ. ඒ විදිහට තමයි මට මුතුකුඩ මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණේ. 
 
තිළිණි ක්‍ෂේත්‍රයට ආවේ අහඹු සිදුවීමකින් කියන්නේ ඇත්තද? 
ඔව්, ඒ මට අවුරුදු 13දී. ටයිටස් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ “කැදැල්ල නෑ උණුසුම්” ටෙලි නාට්‍යය රූගත කළේ අපේ ගමේ. මම අක්කලා එක්ක මුහුදු වෙරළට ගියා සෙල්ලම් කරන්න ගවුමකුත් ඇඳගෙන. ඒ වෙනකොට බිච් එකෙත් “කැදැල්ල නෑ උණුසුම්” කියන ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කරනවා. එත කොට ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම මාව දැකලා තියෙනවා. ඊට පස්සේ මගෙන් ඇහුවා රඟපාන්න කැමැතිද කියලා. ඔය විදියට මටත් පුංචි කෑල්ලක් ඔය කියන ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා. එදා පටන්ගත් ගමන තමයි මේ.
 
මේ වෙනකොට ඔබ රඟපෑ වෙනත් නිර්මාණ මොනවාද?
ඩබ්.පතිරණ මහතාගේ ගිරිකු‍ලේ දෝංකාරය, ජෝසප් ජෙරම් මහතාගේ සිහපතක සිහිනය ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකම මම ප්‍රධාන නිළියගේ චරිතයට පණ දුන්නා. ඔක්කොම ගත්තොත් ටෙලි නාට්‍ය 10ක විතර මේ වනවිට රඟපාලා තියෙනවා. 
 
රිදී තීරයෙන් තවම ආරාධනාවක් ලැබුණේ නැද්ද? 
චිත්‍රපට කිහිපයකට නම් ආරාධනා ලැබුණා. ඒත් ඒ එක චරිතයක්වත් මට නොගැළපෙන නිසා මම ඒ චරිත ප්‍රතික්‍ෂේප කළා. මං සිනමාවට එන්න කැමැති ඓතිහාසික වීර චරිතයකින්. මං විශ්වාස කරනවා දැනට අපේ සිනමාවේ ඓතිහාසික වීර කතාවලට පණ‍පොවන්න පුළුවන් නිළියන් අතරේ මාත් ඉන්නවා කියලා. 
 
ඔබේ රංගන ජීවිතයට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද? 
මගේ පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තායි, මමයි අක්කයි. මුලදී නම් මම රඟපානවට ගෙදරින් ‍පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. ඒත් දැන් “මුතු කුඩ” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් එක්කම ගෙදර අයටත් මගේ රඟපෑම ගැන සතුටුයි. 
ඒත් අම්මා නම් හැම වෙලාවෙම කියනවා චරිත තෝරා බේරා ගද්දී හොඳට හිතලා මතලා ඒ දේ කරන්න කියලා. මම කාගෙවත් දෝෂාරෝපණයකට ලක්වන චරිත රඟපානවට ගෙදර අය කැමැති නෑ. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප:- මධුසංක සිරිවර්ධන

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය රටටම කිරි ඉතිරෙන ආකාරයේ යෝජනාවලින් සැදුම් ලත් එකක් බවට බොහෝ දෙනා විශ්වාසය පළ කළහ. කෙසේ වුවද ඇතැම් ක්ෂේත්‍රයන් අරභයා ගෙනෙන ලද අයවැය යෝජනාවල සැබෑ තත්ත්වය අනාවරණය වීමත් සමග අයවැය පිළිබඳ ජනතාවගේ බලා‍පොරොත්තු දැනටමත් බිඳ වැටෙන්නට පටන්ගෙන තිබේ. ඒ අතරින් ජනතාව වැඩි උනන්දුවක් දැක්වූ ක්ෂේත්‍රයක් ලෙස රථවාහන ක්ෂේත්‍රය හැඳින්විය හැකිය.
2018 වසර සඳහා වන අයවැය යෝජනා අතර හරිත සංකල්පය පෙරදැරි කරගනිමින් ගෙනා යෝජනා රැසක් ඇති බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළේය. ඒ යටතේ 2040 වසර වන විට ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර, පරිසර හිතකාමී වාහන පමණක් ධාවනයට යෙදවීමේ දැක්කම යටතේ ඉලෙක්ට්‍රික් වාහන සඳහා වන බදු ප්‍රතිශතය පහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබිණ. ඒ බව දැනුම් දෙමින් මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී පැවැසුවේ එම තීරණයට අනුව ඉදිරියේදී ඉලෙක්ට්‍රික් මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ දහයකින් පමණ අඩුවනු ඇති බවය. එම අයවැය යෝජනාව වාහනයක් මිලදී ගැනීමට සිහින මවමින් සිටින අයට මෙන්ම දැනට වාහනයකට හිමිකම් කියන අයටද පරිසර හිතකාමී ඉලෙක්ට්‍රික් මෝටර් රථ පිළිබඳ වැඩි ඇල්මක් ඇති කරවන ආකාරයේ එකක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.
කෙසේ වෙතත් මෙම ගජ වාසිය ලාංකේය ජනතාවට කිසිසේත්ම හිමිකර ගත නොහැකි බව මෙරට වාහන ආනයනකරුවන්ගෙන් සැදුම් ලත් ප්‍රධානතම සංගමය වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා (10) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නේ රුපියල් ලක්ෂ දහයකින් මිල අඩුවූ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් තමන් සතු කර ගැනීමට බලා‍පොරොත්තුවෙන් සිටි සැමගේ සිහින බොඳ කරවමිනි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය එහිදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා සඳහන් කළ එම බදු සහනය අදාළ වන්නේ ලියාපදිංචි නොකළ අලුත් ඉලෙක්ට්‍රික් රථ සඳහා පමණක් බවත්, එවැනි ඉලෙක්ට්‍රික් රථ මෙරටට ගෙන්වීමක් සිදු නොවන බැවින් ජනතාවට එම සහනය ප්‍රායෝගිකව හිමි නොවන බවත්ය. ඉලෙක්ට්‍රික් වාහන නඩත්තුව සඳහා වන යටිතල පහසුකම් තවමත් අප රටේ දියුණු තත්ත්වයක නොමැති බැවින් එම මෝටර් රථ නිෂ්පාදකයන් මෙරට ඒජන්තවරුන්ට අලුත් රථ අලෙවිය සඳහා ලබා නොදීම ඊට හේතුව බවද එම සංගමය එහිදී පෙන්වා දුන්නේය. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ 2018 වසරේ නවතම නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් මෝටර් රථයට පවා මෙම බදු සහනය හිමි නොවන බවය.
මෙවර අයවැයෙන් පහර වැදුණු තවත් වාහන කාණ්ඩයක් තිබේ. එනම් එන්ජින් ධාරිතාව 1300cc සහ 1500cc අතර වන හයිබ්‍රිඩ් මෝටර් රථය. එම කාණ්ඩයේ මෝටර් රථ සඳහා වන ඒකක බද්ද රුපියල් 500 කින් ඉහළ නංවා ඇති බැවින්, මෙරට ඉතා ජනප්‍රිය හයිබ්‍රිඩ් මෝටර් රථ මාදිලි වන ටොයෝටා ඇක්වා, ඇක්සියෝ, හොණ්ඩා ග්‍රේස්, වෙසල් වැනි වාහනවල මිල ඉදිරියේදී රුපියල් ලක්ෂ හතහමාරකින් පමණ ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඛනිජමය ඉන්ධන මගින් ධාවනය වන අති සුඛෝපභෝගී වාහනද රුපියල් ලක්ෂ 25 කින් පමණ ඉහළ යයි.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මෙවර අයවැය සඳහා සිය යෝජනා රජයට ලබාදුන්නද සිය සංගමයට ඒ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් අයවැයට පෙර ලබා නොදුන් බව එම සංගමයේ සභාපති කීර්ති ගුණවර්ධන මහතා පැවැසීය.
එමෙන්ම මෙරට භාවිත කරන ලද ත්‍රිරෝද රථ බංග්ලාදේශයට අපනයනය කිරීම වැනි යෝජනාද කෙතරම් ප්‍රායෝගික වේද යන්න ගැටලු සහගත බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මෙවර අයවැය යෝජනා අතර රථවාහන කර්මාන්තයට සුබවාදී ලෙස බලපාන යෝජනාද කිහිපයක් තිබෙන බවය. මතෛක් පැවැති වටිනාකම් මත බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අහෝසි කර වාහන සඳහා වන බදු ගණනය සරල කිරීම මෙන්ම මගී ආරක්ෂාව තහවුරු නොකෙරෙන ආකාරයේ වාහන ගෙන්වීම 2018 ජනවාරි මස 1 වැනිදා සිට තහනම් කිරීම එවැනි සාධනීය යෝජනා බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසයි. මෙවර අයවැයෙන් කරනු ලබන සංශෝධන වසර 3 ක් යනතුරු සංශෝධනය නොකිරීමට රජය ‍පොරොන්දු වී තිබිමද අගය කළ යුතු ආකාරයේ තීරණයක්  බවද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත්, සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචි කළ ඉලෙක්ට්‍රික් වාහන සඳහාද බදු සහනයක් ලබාගැනීම වැනි යෝජනා සහ අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා ඉක්මනින්ම සිය සංගමයට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි බලා‍පොරොත්තු වන බවයි.
කිෂාන් කනංකෙ

ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ රංගන ශිල්පිනිය තමයි අනෝමා ජිනාදරී. ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණු “Asian world Film Festival හිදී තමයි ඇයට එම සම්මානය හිමි වුණේ. අනෝමා එම සම්මානය දිනා ගත්තේ, සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා පටය වන “දැවෙන විහඟුන්” හි ඇය කළ රංගනය වෙනුවෙන්.  කොහොම නමුත් එම සම්මානය පිටුපස ඇති කතාව සම්මානය තරම් මිහිරි නොවන බව පවසමිනුයි ඇය අප සමග මේ විදිහට සංවාදයකට එක් වුණේ. 
 
Asian world Film Festival හිදී පිරිනැමෙන සම්මානය ලබාගත්තේ ඔබ නොවෙයි අධ්‍යක්ෂවරයායි. ඇයි ඔබ සම්මානය පිළිගන්න නොගියේ? 
සංජීව දැනටමත් සිනමා උළෙල 13කට මේ චිත්‍රපටය රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක ප්‍රධාන චරිතය රඟපෑ මට මේ කියපු එකම සම්මාන උළෙලකටවත් ඇරයුම් කළේ නැහැ. ඒ වෙනුවට සුළු චරිත රඟපාන ආධුනික නළු නිළියන්ව තමයි ඒවාට සහභාගි කරවාගත්තේ. ඒ විතරක් ‍නෙවෙයි තරග වදින ඉසව්වලදී තිර නාටකය සහ අධ්‍යක්ෂවරයා යන 
ඉසව්වලට පමණක් චිත්‍රපටය යොමු කරවනවා. “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ගයේෂා පෙරේරාත් එම ඉසව්වලදී  රඟපෑම් අංශ ඇතුළත් නොකරන බවට මේ අධ්‍යක්ෂවරයාට මීට කලිින් බරපතළ චෝදනා එල්ල කළා.
 
නමුත් ඔබට මෙවර ඔබේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් හිමි වෙනවා?  
ඔව්. Asian world Film Festival ජූරිය මගේ රඟපෑම ඒකමතිකව අගය කිරීමට ලක් කළ නිසා මට ඒ සම්මානය ලැබුණා. සම්මානය ගන්න ගිය පුද්ගලයාට අඩුම තරමේ සහතිකයක්වත් නොතිබියදී තමයි ඔහු මට හිමි සම්මානය ගන්න තනිවම ගියේ්. 
 
සම්මානය ලබාගත් පසු අධ්‍යක්ෂවරයා ඔබට කතා කළාද? 
මට මේක කියන්නත් ලැජ්ජයි. මේ වෙන තුරු ඔහු ඒ ගැන මට කතා කරලා නැහැ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුගේ නිසා චරිතයත්, එය රඟපාන නිළියත් ඊට ලැබුණු සම්මානයත් ඔහුගේ කියලා ඔහු හිතනවා ඇති. 
 
ඔබ බොහෝ විට ආන්දෝලනාත්මක චරිතවලට පණ ‍පොවන නිළියක ලෙසයි ප්‍රකටව සිටින්නේ. සම්මානයට පාත්‍ර වූ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ ඔබේ චරිතයත් එවැනි එකක්ද? 
ඇත්තෙන්ම ඔව්. කුසුම් නමැති එම චරිතය සමස්ත චිත්‍රපට වෘත්තාන්තය පුරාම ඇගේ මානයෙන් රූප කථනය වෙනවා. 1989 භීෂණය සමයේදී සිය සැමියා පැහැරගෙන ගොස් මරා පුළුස්සා දැමීමෙන් පසුව කුසුම් තමන්ගේ දරුවන් අට දෙනා සහ නැන්දනියත් සමග ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය තමයි චිත්‍රපටයෙන් කියැවෙන්නේ. 
 
නිරුවත් දර්ශන ඇතුළත් වීම හේතුවෙන් ඔබ රඟපෑ ඇතැම් චරිත මීට පෙර විශාල වශයෙන් කතා බහට ලක් වූ අවස්ථා තිබෙනවා. මෙම චිත්‍රපටයේදිත් ඔබට එවැනි දර්ශනවලට පෙනී සිටින්නට සිදුවුණාද? 
ඔව්. චිත්‍රපටය පුරා ලිංගික ජවනිකා 14ක් තිබෙනවා. කුසුම් තමන්ගේ දරුවන් ජීවත් කරවීමට දරන අරගලයේදී ඇයට අවසානයේ ගණිකා වෘත්තිය තමයි තෝරා ගැනීමට සිදුවන්නේ. ඒ නිසා මට එවැනි දර්ශනවලට පෙනී ඉන්න සිදුවුණා. 
 
සංජීව පුෂ්පකුමාර මීට පෙර අධ්‍යක්ෂණය    කළ “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටය තහනමට පවා ලක් වුණා. එසේ තිබියදී ඇයි ඔබ ඔහුගේ නිර්මාණයකට නොබියව සම්බන්ධ වුණේ? 
ඒ චිත්‍රපටය තහනම් කළ අවස්ථාවේදී එහි රඟපෑ නළු නිළියන් බහුතරය පරීක්ෂණ සඳහා කැඳවූවා. ඔය කියන සිදුවීමේදී තමන්ගේ ශිල්පීන් අනතුරට වැටී සිටියදී මගහැර යාම නිසා තමයි අධ්‍යක්ෂවරයා අපකීර්තියට පත් වුණේ. “දැවෙන විහඟුන්” චිත්‍රපටය ඊට සපුරා වෙනස් තේමාවක් රැගත් එකක් වීම සහ එය මගේ සමාජ දැක්මට ගැළපෙන එකක් වීම නිසයි මම සංජීවගේ ආරාධනාව බාරගත්තේ. 
 
මීට පෙර දායක වූ ඇතැම් නිර්මාණවලදී ඔබට, ඔබ රඟපෑ චරිතයේ වටිනාකමට සරිලන ගෙවීමක් නොලැබුණු බවට ඔබ මීට පෙර චෝදනා නගා තිබෙනවා. මේ චිත්‍රපටයේදී ඔබට එවැනි ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද? 
මේ චිත්‍රපටයේදිත් මට එවැනි ගැටලු මතු වුණා. මගේ චරිතය සඳහා රුපියල් දෙලක්ෂ විසි පන්දාහක් දෙනවා කියලයි අධ්‍යක්ෂවරයා කිව්වේ. නමුත් මම ඒ සඳහා රුපියල් මිලියන දෙකක් ඉල්ලුවා. ඔහු ඊට මුලින් එකඟ වුණත් චිත්‍රපටයට ගිවිසුම් අත්සන් කරන විට මගේ ගෙවීම විදිහට තිබුණේ ලක්ෂ පහළොවයි. ඉතුරු මුදල ඔහුගේ අතින් හරි දෙනවා කියලා සංජීව කිව්වා. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ගෙවන ‍පොරොන්දුව මත රඟ පෑ නිසා මට තවමත් ඒ මුදලින් 1/4ක්වත් ලැබිලා නැහැ. 
 
කිෂාන් කනංකෙ

පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ රංගන දිවියේ අලුත් වෙනසක් සිදුවී ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ ගැන වගේම ඇගේ  කලා දිවියේ නවතම තතුත් දැනගන්නත් එක්කයි අපි ඇයව මෙලෙස සංවාදයට එක්කාසු කරගත්තේ. 
 
කාලයක් වේදිකාවෙන් ඈත්වෙලා හිටපු නීටා මේ දවස්වල ආයෙමත් වේදිකාවට ගොඩවෙලා නේද? 
මම රඟපෑම ආරම්භ කළ අලුතම 1970දී ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යයට එකතු වුණා. ඒ තමයි මගේ මුල්ම වේදිකා රංගනය. ඒත් ඉන්පසු සිනමාවේදී කාර්යබහුල වීම නිසා වේදිකාවෙන් මට ඈත්වෙන්න වුණා. හැබැයි කාලෙන් කාලෙට ඉඳහිට වේදිකා නාට්‍යවලට එකතු වුණා. දැන් මම වේදිකා නාට්‍යයකට එකතු වෙලා තියෙන්නේ අවුරුදු 8කට විතර පසුවයි. 
 
ඔබේ ඒ නවතම වේදිකා රංගනය ගැන කතා කළොත් ? 
තනුජ් අනවරත්න නිර්මාණය කළ සඳ එළියට වෙඩි තියන්න නාට්‍යයේ තමයි මම මේ දිනවල රඟපාන්නේ. මා නිෂ්පාදන කළ නිසලගිර අධ්‍යක්ෂණය කළෙත් තනුජ්මයි. මේ මස 22 හා 23 දිනවල පුංචි තියටර්හිදී මෙම නාට්‍යය වේදිකාගත වෙනවා. 
 
සිනමා හා ටෙලි නාට්‍ය රංගනයෙන් ඔබ දැන් ඈත් වෙලාද? 
එහෙම දෙයක් නෑ. මම රඟපෑ තේජා හා ස්වර යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි. 
 
නීටා ප්‍රනාන්දු නිළියක් වගේම නිෂ්පාදිකාවක්. අදහසක් නැද්ද අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙන්න?
අධ්‍යක්ෂණය කියන්නේ සුළුපටු රාජකාරියක් නමෛයි. මට හිතෙන්නේ මම තවම ඊට සුදුසු නැහැ කියලයි.
 
වේදිකාවේ, ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ, සිනමාවේ විවිධ චරිත රඟපෑ ඔබට තවමත් රඟපාන්නට නොහැකි වූ රඟපාන්න ආශාවෙන් සිටින චරිතයක් තියෙනවාද? 
කන්‍යා සොයුරියකගේ චරිතයක් රඟපාන්න ආසයි. මම දායක වූ ඇතැම් නිර්මාණවල කන්‍යා සොයුරියන්ගේ චරිත ඇතුළත් වුණේ කතාවේ කේන්ද්‍රගත ප්‍රධාන චරිතය ලෙස ‍නෙවෙයි. මම කැමැති කන්‍යා සොයුරියන්ගේ චරිතය කේන්ද්‍ර වූ නිර්මාණයක ප්‍රධාන චරිතය රඟපාන්න.
 
ඔබ දශක ගණනක් කලාවේ රැඳී සිටියා. ඔබේ සමකාලීනයන් බොහොමයකගේ පවුල්වල පසු පරපුරේ අයගේ දූ දරුවෝ කලාවට පිවිසුණා. ඒත් ඔබෙන් පසු ඔබේ පරපුරේ කෙනෙකු කලාවට ආවේ නැහැ.
ඒක ඇත්ත. මගේ සහෝදර සහෝදරියෝවත් ඒ අයගේ දූ දරුවෝවත් කලාවට ආවේ නැහැ.
 
ඔබට දරුවකු සිටියා නම් කලාවට යොමු කරන්න තිබුණා යයි සිතෙන්නේ නැද්ද? 
නැහැ. මට දරුවන් නැතිවීම ගැන මා තුළ කිසිදු දුකක් පසුතැවීමක් නැහැ. යම් විදියකට මට දරුවකු සිටියා නම් මම ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ළඟ විතරක් නතර වෙනවා. ඒත් දැන් මට සමාජයටම මෙහෙවරක් කරන්න පුළුවන්. 
 
දේශපාලනයට යොමුවුණා නම් ඊටත් වඩා වැඩි මෙහෙවරක් කළ හැකිව තියෙනවා කියා සිතෙන්නේ නැද්ද? 
කවදාවත් දේශපාලනයට යොමු වීමේ අදහස් මට ඇතිවී නැහැ. ඉදිරියේදී ඇති වෙන එකකුත් නැහැ.
 
ඔබේ සහෝදර නිළියක් වන මාලනී ෆොන්සේකා සහ ගීතා කුමාරසිංහ දේශපාලනයට යොමු වීම ගැන මොකද හිතෙන්නේ? 
ඒක ඒ අයගේ කැමැත්ත. මම කවදාවත් කාගේවත් කැමැත්තක් විවේචනය කරන කෙනෙක් නමෛයි. ඔවුන් දෙදෙනා ගැනම මට සතුටුයි.
 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප - අසන්ත ගමආරච්චි

Page 1 of 44

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.