Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හිටපු ඇමැති නි. ඇමැති මහින්ද සමග රහස් කතාබහක

සුපුරුදු පරිදි මේ සතියේත් කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන්ය. මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම තීරණාත්මක වූයේ හම්බන්තොට වරාය චීනයට බදු දීම හා ඒ ආශ්‍රිත කර්මාන්ත පුරයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්වීමට නියමිතව තිබූ නිසාය. කැබිනට් රැස්වීම ආරම්භවීමට පෙර මෛත්‍රී, රනිල් සහ මහින්ද සමරසිංහ ඇමැතිවරයා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ වෙනම කාමරයකට පැමිණියහ. ඒ අතරට තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ද එක්වූහ. හම්බන්තොට වරාය චයිනා ‍පෝට් හෝල්ඩිං සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පවත්වාගෙන යන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ පිරිස අතර සාකච්ඡාවට ලක්විය.
“මේ ගිවිසුම රටට හොඳක් වෙන විදියට වෙනස් කරන්න තව ටික දවසක් කල් දැම්මොත් නරකද” මෛත්‍රී ඇසුවේය.
“අපිට සංශෝධනය කරන්න පුළුවන් දේවල් සංශෝධනය කරමු” රනිල් සංශෝධනවලට එකඟත්වය දැක්වූවේය. 
“චයිනා ‍පෝට් හෝල්ඩිං සමාගමට දීමට යෝජනා කර තිබෙන සියයට අසූවක කොටස් හිමිකාරීත්වය සියයට හැත්තෑව දක්වා අඩු කරන්න ඕන. සියයට තිහක් වරාය අධිකාරියට දෙන්න ඕන. ඒ වගේම මේ වෙනස්කම් කළා කියලා චීන සමාගමෙන් ලැබෙන ඩොලර් බිලියන 1.1ක මුදල කිසි සේත්ම අඩුවෙන්න බෑ. ඒ වගේම අනූනම අවුරුද්දකට නමෛයි මේක බදු දෙන්නේ. අවුරුදු හැත්තෑවක කාලයකට බදු දීමට කියලා ගිවිසුම වෙනස් කරමු”මෛත්‍රී ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ යෝජනාය. ඒ අතරම මෛත්‍රී යෝජනා කළේ වරාය ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා ලබාගත යුතු බවය.
“අපි අද මේක කැබිනට් එකේ සම්මත කරගනිමු. ගිවිසුම අත්සන් කරන්න කලින් තවත් අත්‍යවශ්‍ය සංශෝධන තිබෙනවා නම් ඒවාත් කරන්න පුළුවන්. ඒ වගකීම මම භාරගන්නවා” මහින්ද සමරසිංහ සහතිකයක් දුන්නේය. 
එයට මෛත්‍රීගේත් රනිල්ගේත් අනුමැතිය හිමිවූ අතර විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා පමණක් විරෝධය දැක්වූයේය. එහෙත් විජේදාසගේ විරෝධය නොතකා වරාය ගිවිසුම කැබිනට් මණ්ඩලයට ආවේය.
“මේ ගිවිසුම අත්සන්  කරන්න කලින් මේක පාර්ලිමේන්තුවට දාන්න. පාර්ලිමේන්තුවේ අදහස් අරගෙන ගිවිසුම අත්සන් කරන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය. ඒ අනුව මේ සතියේම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද හැකිවිය.
 
රවිට විරෝධයක්
 
විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් කර තිබුණේය. මුලින්ම ඔහු ඉදිරිපත් කළේ කොම්පඤ්ඤවීදියේ පිහිටි විසුම්පාය විදේශ කටයුතු ඇමැතිවරයාගේ නිල නිවස බවට පත් කරගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවකි.
“අපි විසුම්පාය රෙස්ට් හවුස් එකක් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒකට අපේ අමාත්‍යාංශයෙන් ලොකු මුදලකුත් වැය කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට තමයි මෙය සංවර්ධනය කරන්නේ” පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කීවේ විසුම්පාය විදෙස් රාජ්‍ය නායකයින්ට නවාතැන් ගත හැකිවන ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් අනාවරණය කරමිනි.
“විසුම්පාය මගේ යටතේ තිබුණේ. ඒක මම චම්පික ඇමැතිතුමාගේ බස්නාහිර පළාත් හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයට දුන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා නවාතැන් ගත හැකි නිකේතනයක් බවට පත් කිරීමටයි” මෛත්‍රී කීවේය.
“රවි ඇමැතිතුමා ඉල්ලනවා නම් අපි මේක දීලා දාමු සර්. හැබැයි ඔතැනට ගියපු කවුරුවත්  ආයිමත් ඔළුව උස්සලා ආවේ නෑ. දේශපාලනයෙන් අතුගෑවිලා ගියා. ජී.එල්. පීරිස් ඇමැතිතුමාගේ දේශපාලනය ඉවරවුණෙත් ඔතැනට ගියපු නිසා” දයාසිරි ජයසේකර ඇමැතිවරයා කීවේ විසුම්පායේ සිටි මැති ඇමැතිවරු ගැන සිහිපත් කරමිනි.
“අනුර බණ්ඩාරනායක නැතිවුණේ විසුම්පායේ සිටියදී. දි.මු. ජයරත්න අගමැතිතුමා අසනීප වුණෙත් විසුම්පායේ ඉන්න කාලෙදිනේ” මෛත්‍රීත් එයට තවත් දෙයක් එකතු කළේය. 
මේ කතා අසා සිටි රවි නැවත විසුම්පාය තමන්ට දෙන්නැයි ඉල්ලීම් කරන්න ගියේ නැත.
ඉන් පසුව රවි තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ තම අමාත්‍යාංශයට කාර්යමණ්ඩල ප්‍රධානියෙක් පත් කරගැනීමටය. 
“විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස මට රාජකාරී කටයුතු රැසක් තිබෙනවා. ඒ නිසා මට කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත් කරගැනීමට අවශ්‍යයි”රවි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් කියා තිබුණේය.
“විදේශ කටයුතු ඇමැතිතුමාට විතරක් නමෛයි අපිටත් වැඩ තියෙනවා. ඒ නිසා අපිටත් කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරක් දෙන්න” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ඉල්ලා සිටියහ.
“ඇමැතිවරුන්ට ඒ වගේ තනතුරක් දෙන්න බෑ. මේ වගේ තනතුරක් තියෙන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි විතරයි. ඒ නිසා වෙන ඇමැතිවරුන්ට එහෙම දෙන එක වැරදියි” මුදල් ඇමැති මංගල සමරවීර රවි ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූවේය.
“මමත් කාර්යමණ්ඩල ප්‍රධානියෙක් ලෙස වැඩ කරනවා. අගමැතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානී තනතුර මම දැරුවට මට කිසිම ගෙවීමක් කරන්නේ නෑ. මම පඩි නැතිවයි ඒ තනතුරේ වැඩ කරන්නේ” සාගල රත්නායක ඇමැතිවරයාත් රවිගේ කැබිනට් පත්‍රිකාවට සහාය දැක්වූයේ නැත.
“කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් ඒ විදියට පත් කරන්න බෑ. ඕන නම් උපදේශක කෙනෙක් පත් කරගන්න. ආයතන ප්‍රධානියෙක් උපදේශකවරයෙක් ලෙස පත් කරගන්නවානම් රුපියල් හැටදහසක වැටුපක් ගෙවන්න පුළුවන්. අතිරේක ‍ලේකම්වරයෙක් පත් කරගන්නා විට හැත්තෑ පන්දහසක වැටුපක් ගෙවන්න පුළුවන්. අමාත්‍යාංශ ‍ලේකම්වරයෙක් උපදේශකයෙක් ලෙස පත් කරගන්නවා නම් රුපියල් ලක්ෂයක දීමනාවක් ගෙවන්න පුළුවන්” මෛත්‍රී ද රවිගේ යෝජනාවට විරුද්ධව අදහස් දැක්වූවේය.
“ජනාධිපතිතුමා කියපු ක්‍රමය තමයි නිවැරදි ක්‍රමය. ලක්ෂ දෙකක්, ලක්ෂ තුනහමාරක් ගෙවලා කාර්යමණ්ඩල ප්‍රධානීන් පත් කරන්න බැහැ”විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාත් සිටියේ රවිට විරුද්ධවය.
මේ අතර රවි තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ඉන්දියාවේ සංචාරය කරන වන්දනාකරුවන්ගේ වගකීම් පැවරීමට අදාළවය.  එහිදී එජාපයට සබඳතා තිබෙන තිනියාවල පාලිත හිමියන්ට වැඩි බලයක් ලැබෙන ආකාරයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් විය. මහාබෝධි සංගමයේ බානගල උපතිස්ස හිමියන් සිටියදී මේ ආකාරයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බව ඇතැම් ඇමැතිවරුන්ගේ අදහස විය.
“මේ විදියට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වැරදියි. ඒ නිසා මේක පැත්තකින් තියමු. මේ ගැන සාකච්ඡා කරලා ආයිමත් වතාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමු” ඇමැතිවරු රවිගේ තුන්වැනි කැබිනට් පත්‍රිකාවටද විරෝධය දැක්වූවේය.
 
මෛත්‍රී ආර්ථිකය අතට ගනී
 
මෛත්‍රීද මේ සතියේ කැබිනට් මණ්ඩලටය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේය. ඒ ජාතික ආර්ථික සභාවක් පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාවකි.
“පසුගිය කාලයේදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී මගේ මැදිහත්වීමක් තිබුණේ නෑ. දිගින් දිගටම ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙන නිසා ජාතික ආර්ථික සභාවක් පිහිටුවීමට අදාළව මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා” මෛත්‍රී සිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් කීවේය.
මෛත්‍රී යෝජනා කර තිබුණේ කැබිනට් මණ්ඩලය හරහා ජාතික ආර්ථික සභාව ක්‍රියාත්මක කිරීමටය. ඒ හරහා ආර්ථිකය සම්බන්ධයෙන් වන සිය අදහස් මෙම කමිටුව හරහා ඉදිරිපත් කිරීම මෛත්‍රීගේ අපේක්ෂාවයි.
“දැනට ආර්ථික කමිටුව ක්‍රියාත්මක වෙනවා. මේ නිසා අපිට අදහස් දැක්වීම සතියක කාලයක් අවශ්‍යයි. ඒ නිසා ලබන අඟහරුවාදා කැබිනට් එකේදී මේ ගැන සාකච්ඡා කරමු” රනිල් යෝජනා කළේ කැබිනට් පත්‍රිකාවට ඔහුගේ වැඩි කැමැත්තක් නොවූ නිසාය.
 
කේක් කපද්දී ඇමැතිවරු මාරු
මේ සතියේ කැබිනට් මණ්ඩලයට විශාල කේක් ගෙඩියක් ගෙනවිත් තිබුණේය. කේක් ගෙඩිය ගෙන එන්නැයි කියා තිබුණේ මෛත්‍රීය. කේක් ගෙඩිය ගෙනවිත් තිබුණේ මංගලය.  එය ගෙනවිත් තිබුණේ රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර හතළිහක් සම්පූර්ණවීම නිමිත්තෙන්ය. 
“ඔබතුමා ඇවිත් කේක් එක කපන්න”මෛත්‍රී රනිල්ට ආරාධනා කළේ රනිල්ගේ පාර්ලිමේන්තු දිවියේ හතළිස් වසරට සුබපතමිනි. ඒ අනුව රනිල් පැමිණ කේක් ගෙඩිය කැපුවේය. පළමු කේක් කැබැල්ල මෛත්‍රී රනිල්ට කැව්වේය.  ඉන් පසුව රනිල් කේක් කෑල්ලක් ගෙන අනෙක් මැති ඇමැතිවරුන්ට කැව්වේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක් සිටියේ පිටුපසය. ඔවුන් රනිල් කේක් කැවීමට එද්දී පිටුපස දොරින් මාරුවූයේ “අගමැතිතුමා කවන කේක් අපිට එපා”යැයි කියමිනි.
 
නවීන්ගෙන් යෝජනාවක්
 
මෛත්‍රී පසුගිය දිනවල පාර්ලිමේන්තුවට පැමිණියත් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ නොතිබුණේය. ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බව සිහිපත්වූ ජනාධිපති පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ‍ලේකම් මියුරු භාෂිත මෛත්‍රීට එය සිහිපත් කර තිබුණේය.
“සර් පාර්ලිමේන්තුවට ආවත් ච්ෙම්බර් එකට ආවේ නෑනේ. ඒ නිසා මේ සතියේ පාර්ලිමේන්තුවට එන්න” මියුරු මෛත්‍රීට ආරාධනා කළේය. ඒ අනුව මෛත්‍රී අඟහරුවාදා පාර්ලිමේන්තුවට ආවේය. ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයට ආවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කතා කරමින් සිටින විටදීය. ටික වේලාවක් සභා ගර්භයේ රැඳී සිටි මෛත්‍රී පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට ආවේය.
ඔහු හමුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ. එතැනට පැමිණි නවීන් දිසානායක ඇමැතිවරයා මෛත්‍රීගේ අවධානයට ලක් කළේ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ ඛනිජ තෙල් සේවක වර්ජනය ගැනය.
“ජනාධිපතිතුමනි, මේ තෙල් ප්‍රශ්නයත් එක්ක අපිට ඉස්සරහට යන්න අමාරුයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ජනතාවට හානිවන දේවල් වැළැක්වීමට අපි කටයුතු කරන්න ඕන. ඛනිජ තෙල් සේවකයින් මේ දේශපාලන හේතු නිසා තමයි වර්ජනය කරන්නේ. අපි කොහොමත් තෙල් සැපයීම සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන තිබෙනවා. හම්බන්තොට තෙල් සැපයීම චීනය සමගත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව සමගත් කරන්න අපි එකඟවෙලා තිබෙනවා. ඒවට අපි ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා”නවීන් පෙන්වා දුන්නේය.
මේ අතර මහින්දගේ ආණ්ඩු කාලයේදී කොළඹ වරාය නගරය චීනයට ලබාදුන් ආකාරය ගැනත් අවධානය යොමුවිය.
“මේ තෙල් ප්‍රශ්නය විසඳන්න ඕන. ඒ නිසා තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරන්න”නවීන් ඉල්ලා සිටියේය..
ඉන් පසුව මෛත්‍රී හමුවූ රනිල් ඉල්ලා සිටියේද නවීන් කළ ඉල්ලීමය. ඒ අනුව මෛත්‍රී එදින රාත්‍රියේම තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
 
භෝජනාගාරයේ රහස් කතා
 
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සුපුරුදු පරිදි මේ සතියේදීත් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ය. මෙහිදී වැඩි අවධානයක් යොමුවූයේ හම්බන්තොට වරාය ගැනය.
“හම්බන්තොට වරාය විකිණීම ගැන කැබිනට් එකට අද කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. මේක විකුණන්න කලින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවා කියලා ජනාධිපතිත් අගමැතිත් කලින් කිව්වා. හැබැයි දැන් පාර්ලිමේන්තුවටත් හොරෙන් තමයි කැබිනට් අනුමැතිය අරගෙන තියෙන්නේ” නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීවේය.
“ආණ්ඩුව දැන් හැම එකක්ම මහින්ද මහත්තයාගේ කර උඩට දාන්න තමයි හදන්නේ” ගාමිණී ලොකුගේ කීවේ හම්බන්තොට වරාය ගැන අවධානය යොමු කරමින්ය. 
“මේ කියන එකක්වත් පිළිගන්න පුළුවන් චෝදනා නමෛයි. අපිට බොරු චෝදනා කරන ගමන් ජනතාවගේ ඇස් වහලා වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන එක තමයි ආණ්ඩුවේ වැඩේ වෙලා තියෙන්නේ” නාමල් පෙන්වා දුන්නේය.
“ආණ්ඩුව දැන් පළාත් පාලන මැතිවරණය කල් දානවා මදිවට පළාත් සභා මැතිවරණයත් කල් දාන්නයි යන්නේ. මැතිවරණ කල් දාලා තමන්ගේ දේශපාලන සතුරන් අඩපණ කරනා මැතිවරණ දිනාගන්නයි ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ” 
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වා ගැනීම ගැන අවධානය යොමු කරමින්ය.
“මේ වෙනකොට මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සියලුම හොර ගනුදෙනු හෙළිවෙමින් යනවා. මේකට හිටපු මුදල් ඇමැතිවරයා සෘජුව වගකියන්න ඕන” බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
“හරි නම් හිටපු මුදල් ඇමැතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. ඉල්ලා අස්වෙලා රටිනුත් පිටවෙලා ගියොත් එයාට මෙලොව වශයෙන් කීර්තියයි, පරලොව වශයෙන් පිනයි හිමිවෙනවා” බන්දුල කීවේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ සිනා හඬ මැදය.
“හැබැයි ඉතිං මේ බැඳුම්කර මගඩියට මේ ආණ්ඩුවම වගකියන්න ඕන” ඒ සියල්ලම අසා සිටි මහින්ද කීවේය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වීමෙන් පසුව මහින්ද ගියේ පාර්ලිමේන්තු භෝජනාගාරයටය. ඔහු අසලට ආ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ටික වේලාවක් කතා කරමින් සිට පිටව ගියහ. ඉන් පසුව ඔහු අසලට ආවේ නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා සහ ප්‍රියංකර ජයරත්න හිටපු ඇමැතිවරයාය. ඔවුන් තිදෙනා බොහෝ වේලාවක් භෝජනාගාරයේ කතා කරමින් සිටි අතර වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් ඔවුන් අසලට ගියේ නැත. එසේම ඔවුන් තිදෙනා කළ කතාව මොකක්දැයි කාටවත් හෙළිදරව් කළේද නැත.
 
අනුර කුමාර පිටුපස ගිය මන්ත්‍රීවරු
 
ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය නිසා තෙල් පිරවුම්හල් වසා දැමීමට සිදුවීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් අවධානය යොමුවී තිබුණේය. පාර්ලිමේන්තුව බදාදා රැස්වූ විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කතා කරමින් සිටින අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට දුරකථන ඇමතුමක් ලැබුණේය.
“එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ මැරයෝ ඇවිත් කොළොන්නාවේ තෙල් සංකීර්ණයේ සේවකයන්ට පහර දෙනවා” එම ඇමතුමෙන් කියවිණි.
“අගමැතිතුමනි, මේ සිද්ධියට මැදිහත්වෙලා මේවා විසඳන්න” 
දිනේෂ් ඉල්ලා සිටියේය. මේ සමග ඇති වූ කලබලය නිසා පාර්ලිමේන්තුව ටික වේලාවකට කල් තැබුවේය. කල් තැබුණ පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සභාගැබ හරහා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිටින දෙසට ඇවිද ආවේය. රනිල් එනු දුටු පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයාත් තවත් මන්ත්‍රීවරු කිහිපදෙනකුත් ජංගම දුරකථන අතට ගත්තේ රනිල්, අනුර කුමාර දිසානායක අසලට පැමිණියහොත් ඡායාරූප ගැනීමටය. මන්ත්‍රීවරුන්ගේ සූදානම දුටු අනුර කුමාර රනිල්ට ඔළුවෙන් සංඥාවක් කර සභා ගැබෙන් නික්ම ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් අනුර කුමාරගේ පිටුපසින් ගියේ කොයි මෙහොතක හෝ රනිල් හමුවනු ඇතැයි යන විශ්වාසයෙනි.
එහෙත් අනුර කුමාර අසලට රනිල් ආවේ නැත. එහෙත් ලොබියේදී හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා අනුර කුමාරගේ අතින් අල්ලාගෙන කතා කරන්න විය. ඔවුන් දෙදෙනා කතා කරමින් සිටි තැනට එකවරම කඩා වැදුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසය. ඔවුන් එනු දුටු අනුර කුමාර, හර්ෂ ද සිල්වාගේ අත අතහැරියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එන්නේ කුමකටදැයි දැන සිටි නිසාය.
 
සැඟවුණ ඇමැති
 
වර්ජනයේ නිරත ඛනිජ තෙල් සේවකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැලිකඩ ‍පොලීසියට ගෙනවිත් තිබුණේය. ඔවුන්ගෙන් ප්‍රකාශ ගන්නා අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ‍පොලීසියට ගියත් ඔවුන්ට ‍පොලිස් ස්ථානය තුළට යාමට අවසර නොවීය. එහෙත් වර්ජකයන් ‍පොලීසියට කට උත්තර දෙන අවස්ථාවේදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා බලහත්කාරයෙන්ම ගොස් එම ප්‍රකාශ වීඩියෝ කළේය.
“මේ අයට ගහන්න හොඳයි. වීඩියෝ කරන්න නරකයි” පියල් නිශාන්ත වීඩියෝ කළේ බලහත්කාරයෙන්ය. ඒ අතර ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයද වීඩියෝ කරන්න විය.
මේ අතර වර්ජනය ආරම්භ කිරීමට පෙර ඛනිජ තෙල් කර්මාන්ත ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් මාධ්‍ය ආයතනයකට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ ඇමතුමෙන් කල් ඇතිවම කියවුණේ ආරම්භ කිරීමට නියමිත වර්ජනයක් ගැනය.
“අපි හෙට වර්ජනයක් ආරම්භ කරනවා. ඒකට ඔයාලගේ සහය අවශ්‍යයි” එම නිලධාරියා කියා තිබුණේය.
උද්ඝෝෂණය ක්‍රියාත්මක දින කිහිපයේ සිය පවු‍ලේ ඥාතියකුගේ අවමඟුල් උත්සවයකට ගොස් තිබුණත් වර්ජනය විසඳීමට ඔහු මැදිහත් වී තිබුණේ නැත. වර්ජකයන් සමග සාකච්ඡාවකටවත් නොගිය ඔහු වර්ජනයේ නිරත සේවකයන්ට පහර දෙන විටත් නිහඬවම සිටියේය. ජනාධිපතිවරයා වර්ජකයන් සමග සාකච්ඡා කළත් ඇමැතිවරයා ඒ කිසිවකටවත් සහභාගි වී තිබුණේ නැත.
 
පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ රහස් කතා
 
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සෑම සතියකම පවත්වන හමුව මේ සතියේදීත් පවත්වා තිබුණේය. සාමාන්‍යයෙන් මේ සාකච්ඡාව පවත්වන්නේ සඳුදා දිනකය. එහෙත් මේ සතියේදී එම සාකච්ඡාව පැවැත්වුණේ බ්‍රහස්පතින්දා සවසය. මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවසක පැවැති සාකච්ඡාවට වෙනදා එන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැමිණ සිටියේ නැත. ඒ ඇතැම් මන්ත්‍රීවරුන්ට සිකුරාදා සිය ගම් බිම් බලා පිටත්ව යාමට අවශ්‍යව තිබූ නිසාය.
මේ අතර වෙනදා සාකච්ඡාවලට ක්‍රියාශීලීව දායකත්වය ලබාදෙන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එනතෙක් අනෙක් මන්ත්‍රීවරු බලා සිටියහ. එහෙත් චමින්ද විජේසිරි සවස සිටියේ රෝහලකය. ඒ ඔහුගේ පපුවේ කැක්කුමක් හටගෙන තිබූ නිසාය. හෘදයාබාධයක් යැයි සැක සිතූ මන්ත්‍රීවරයා රෝහලට ගොස් පරීක්ෂණ කිහිපයකට ලක්වී තිබුණේ අනෙක් මන්ත්‍රීවරු ඔහු එන තෙක් බලා සිටියදීය. පරීක්ෂණ අවසන් කරගෙන ඔහු එන විට රාත්‍රී දහය පමණ වී තිබුණේය.
මේ නිසා ඔවුන් සාමාන්‍ය දේශපාලන කරුණු ගැන සාකච්ඡා කළා මිස වැඩිදුර ගැඹූරු දේශපාලනයක් ගැන කතා කරන්න ගියේ නැත.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.